May
16

තමන්ගෙම ව්‍යාපාරවලින් උඩට ආපු ලංකාවෙ තරුණයො හත්දෙනෙක්

477 Views

තරුණයින්ගේ බලාපොරොත්තු මොනවාද? විනෝද වෙන්න තියෙන කාලෙ ජොබක් කරගෙන ආතල් එකේ ඉඳලා කෙල්ලෙක් සෙට් කරගෙන බැඳලා ෂේප් එකේ ජීවත් වෙන්න. ඒත් ඒ ෂේප් එකට වඩා දෙයක් අත්දැකපු සහ ඒ වෙනුවෙන් වෙහෙස වුනු මිනිස්සු ගැන තමයි මේ කියන්න යන්නෙ. මේ තරුණයින් තමන්ගේ ව්‍යාපාර ගොඩනංවගෙන දැනටත් ඇවිල්ලා තියෙන ගමන්මග සැළකිය යුතු දුරක් වගේම ඒ ගමන්මග ඇතුළෙ ඔවුන් නිසා රැකියා අවස්ථා ලබපු තවත් පිරිසකුත් ඉන්නවා. තව දුරටත් උදේ අටට ඇවිත් හවස පහට යන, කාගේ හෝ අණසකට යටත්ව සිටින, තමන් කැමති දේ අත්හදා බලන්නට අවස්ථාවක් නොමැතිව සිටි තත්ත්වයෙන් මිදී ඔවුන් මේ වන විට පැමිණ ඇති ගමන් මග සුවිශේෂයි. මේ ඔවුන් පිළිබඳ විස්තර.

1. ධනික පෙරේරා – Bhasha & PayHere

ධනික සිංහල බ්ලොග්කරණය හරහා බොහෝදෙනෙකු දැනගත් තරුණයෙක්. මොරටුව විශ්වවිද්‍යාලයේදී අන්තර්ජාලයේ සිංහල අකුරු කියැවීමට බ්‍රවුසරයක් නිපදවන ඔහු එය දෙමළ භාෂාව වෙනුවෙනුත් සකසනවා. ඒ නිසා ඔහුගේ පළමු සම්මානය ලබන්නේ දේශීයව නොව සහෝදර ඉන්දියාවෙන්. ඉන් අනතුරුව ඔහු විසින් භාෂා ලංකා සමාගම පිහිටුවනවා. මේ වන විට තමන්ගේම සේවක පිරිසක් සමග භාෂා ලංකා හරහා ඔහු ඉදිරිපත් කළ බොහෝ ජංගම දුරකතන යෙදුම් ඉතා ප්‍රසිද්ධයි. මෑතකදී ඔහු සිය දෙවැනි සමාගම Pay Here ලෙසින් ආරම්භ කරන්නේ ලංකාවේ අන්තර්ජාල මුදල් ගණුදෙනු වෙනුවෙන් නව මානයක් ගෙනෙමින්.

2. සුරංග ප්‍රනාන්දු – Suranga Fernando

මෙම සටහනට එක් වන වයසින් ලාබාලම තරුණයා වන මොහු මංගල ඇඳුම් කරණයේ මනාලයෙකුගේ සළකුණ තැබූවෙක්. බොහෝවිට මංගලෝත්සවයකදී අවධානය යොමුවන මනමාලියගේ පාර්ශවයෙන් මිදී මනමාලයින්ට ඇඳුම් සකසන සුරංගගේ වයස තවමත් අවුරුදු විසි පහක් පමණයි. සිය ව්‍යාපාරික හැකියාවන් සිය රැකියාව හරහා දියුණු කරගත් ඔහු ස්වොත්සාහයෙන් හුරුවී සිය ව්‍යාපාරය අරඹා මේ වන විට වසර දෙකක් වනවා.

3. ලෂාන් සිල්වා – Enhanzer

විශ්වවිද්‍යාල අවසන් වසර ගෙවෙද්දීම සිය නව ව්‍යාපාරයට මූලික අඩිතාලම යොදන ලෂාන්ට 2013 වසර වන විට වයස අවුරුදු විසි හතරක්. මේ වන විට පහළොස් දෙනෙකුගෙන් යුතු සේවක පිරිසක් සමග ක්‍රියාත්මක වන ඔහුගේ ව්‍යාපාරයේ නම Enhanzer. ‍ලංකාවේ සමාගම් වෙනුවෙන් තොරතුරු තාක්ෂණ සේවා සපයමින් ආරම්භ කළ සමාගම මේ වන විට ඉන්දියාව, ජර්මනිය, අප්‍රිකාව, ඇමරිකා එක්සත් ජනපදය වැනි රටවල පාරිභෝගිකයින් දිනාගෙන තිබෙනවා. ඔවුන් මෑතකදී නිමැවූ ව්‍යාපාරයකට නවීන තාක්ෂණය භාවිතා කරන්නේ කෙලෙසද යන්න දක්වන eZuiteනිෂ්පාදනය වෙනුවෙන් මයික්‍රසොෆ්ට් සමා‍ගමෙන් Best Startup Solution සම්මානයද ලැබී තිබෙනවා.

4. කුෂාන් වන්නිආරච්චි – අර්ථ ක්‍රියේටිවු

කුෂාන් වන්නිආරච්චි මුල් කාලීනව තොරතුරු තාක්ෂණය සම්බන්ධව රැකියාවක් කරමින් සිට තමන්ගේම ව්‍යාපාරයක සිහිනය ගොඩනංවා ගනිමින් ව්‍යාපාරයකට එළැඹෙන්නේ ඡායාරූපකරණය හරහායි. මේ වන විට ඔහු ඡායාරූපකරණයේ සැළකිය යුතු දුරක් පැමිණ තිබෙන්නේ එකිනෙකට වෙනස් ඔහුගේ ඡායාරූප තුළ විවිධ වූ වර්ණ පර්යේෂණයන් කරමින්. මේ වන විට ඔහු සිය ව්‍යාපාරය අර්ථ ක්‍රියේටිවු නමින් පවත්වාගෙන යනු ලබයි.

5. තරිඳු දසනායක – Square Mobile

තරිඳු දසනායක තමන්ට වයස අවුරුදු විසි තුනක් පමණ කාලයේ ස්මාට්ෆෝන් නොමැති පිරිසට ඉංග්‍රීසි දැණුම ජංගම දුරකතනය හරහා ලබාදීමේ ඇප් එකක් නිපදවනවා. එය ප්‍රකට දුරකතන සේවා සමාගමක් සමග සිදුකළ අතර එයින් ඔහුගේ තොරතුරු තාක්ෂණ ආගමනය සිදු වෙනවා. එය ජාත්‍යන්තරයට ගෙන යාමට ගත් උත්සාහයත් සමග ඒ මොබයිල් ඇප් එක වෙනුවෙන් මේ වන විට සබ්ස්ක්‍රයිබ් වූ පිරිස ලක්ෂ පහකට අධිකයි. මේ වන විට තමන්ගේ මිතුරෙකු වන මධුර වික්‍රමසිංහ සමග එක්ව Shout Out නමින් නිෂ්පාදනයක් වෙළඳපොලට ඉදිරිපත් කර ඇති ඔහු එය ව්‍යාපාරික ප්‍රජාවට තමන්ගේ පාරිභෝගිකයන් හා කෙටි පණිවුඩ හරහා ගණුදෙනු කළ හැකි නිෂ්පාදනයක් ලෙස හඳුන්වාදෙයි.

6. ජූඩ් ධනුෂ්ක සහ අයේෂා බද්දේගම – Laydeez

මේ කතා බහට ලක්වන්නේ මේ වන විට ලංකාවේ අන්තර්ජාල වෙළඳපොල තුළ විශ්වාසයක් දිනා ඇති විලාසිතා සම්බන්ධයෙන් බොහෝ තරුණියන්ගේ ඇස රැ‍ඳෙන ව්‍යාපාරයක් වන Laydeez සම්බන්ධයෙනුයි. වෙබ් අඩවි සංවර්ධකයෙකු වන ජූඩ් ධනුෂ්ක සිය බිරිඳ සමග අරඹන මෙම ව්‍යාපාරය මේ වන විට ලබා ඇති සාර්ථකත්වය සමග එය අන්තර්ජාලය තුළදී මෙන්ම භෞතික ලොව තුළදීද වෙළඳසැලක් ලෙස ඔබට අවශ්‍යතා සපුරාගත හැකි ලෙස සැකසී තිබෙනවා. තරුණියන්ගේ ඇඳුම් සහ ආභරණ වෙනුවෙන් විශ්වාසය දිනා ගැනීමට මොවුන් සමත්ව තිබෙනවා.

7. හර්ෂ ඇල්වලගෙදර – Wright Way Digital

මූලිකව වෙබ් අඩවි සංවර්ධකයෙකු ලෙස රැකියාවක් කරන ඔහු වසර දෙකහාමාරකට පසු එම රැකියාවෙන් නික්මෙන්නේ තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කරමිනුයි. ඒ 2012 වසරේදියි. ඔහුට වයස අවුරුදු විසි හතරේදී අරඹන ඒ සමාගමේ නම Aureate Web Solutions. සමාගමක් පිහිටුවා තමන්ගේම කාර්යාලීය බිමක සිය ව්‍යාපාරය සිදුවෙයි. ඒ හරහා කුඩා පරිමාණයේ සිට කොටස් වෙළඳපොල දක්වා වූ මහා පරිමාණයේ සියළු වෙබ් අවශ්‍යතා ඉෂ්ඨ වෙනවා. ඒ වාගේම ඔවුන් ව්‍යාපාරික ප්‍රජාව වෙනුවෙන් නව නිෂ්පාදනද එළිදක්වා තිබෙනවා. එසේම පිටරටින් මෙරටට මුදල් උපයාදීමටද මගක් සලසමින් ඔවුන් මේ වන විට Wright Way Digital නමින් වන එක්සත් රාජධානියේ සමාගමක් සමගින්ද එක්ව කටයුතු කරනවා

Do you like this post?
  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid
Article එක හොදයි නම් / ලස්සනයි නම් / දෙයක් ඉගෙන ගත්තා නම් ලයික් එකක් දාලා ශෙයා කරන්න

මේ රතු පාට button එක ක්ලික් කරලා අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
Releated Posts :

Leave a Reply