Jun
8

මේ හැරී පොටර් එකේ ඉන්න ඩයල් වලින් ඔයාලටත් ලංකාවෙ කට්ටියගෙ ගතිගුණ මතක් වුනාද?

568 Views

මේ කතාව හැරී පොටර් කියවපු බලපු දූලා පුතීලාටනං අවුලක් නැතුවම තේරුං ගන්න පුළුවන් දෙයක්. හැරී පොටර් කතාවෙ ඒ ඒ චරිතවල අයට තිබ්බ ලංකාවෙ අයට ආවේණික ගතිගුණ ගැනයි මේ කියන්න යන්නෙ. හැරී පොටර් බලද්දි යකෝ ලංකාවෙත් මෙහෙම නේද කියල හිතපු අයියල නංගිලාට, මහ බ්‍රිතාන්‍යයෙ එහෙම වුනත්… ලංකාවේ එහෙම වෙන්නෙ නෑ. හැරී පොටර්ගෙ ලේ එන්නේ නෑ… කියන එකත් අපි මතක් කරන්නම ඕන. එහෙනං බලමු අපේ බැලූ බැල්මට ලංකාවට සෙට් වෙන ගති ගුණ ටික.

1. මහාචාර්ය ස්නේප්

අපි හැමෝටම ඉන්නව ජීවිත කාලෙ එක ගුරුවරයෙක්. එයා අපිට විෂයයක් ඉගැන්නුවට වඩා එයා අපිට ජීවිතේ කියල දෙනව. එයා උගන්වනවා ප්‍රශ්නයක් සිද්ධ වෙන්න පුළුවන් තැන්. එයා අපිට නරකක් වෙන්න යන තැන්වලින් අපිව බේරගන්නවා. එහෙම කට්ටිය දෙතුන්දෙනෙක් අපිට ලැබෙන්නෙ නෑ වගේම එහෙම කෙනෙක් අපි හැමෝගෙම ජීවිතේට ලැබෙන්නෙත් නැහැ. ඒ නිසා මහාචාර්ය ස්නේප් වගේ තරහ මූණ පෙන්නගෙන හිටියට, වමට දකුණට හැරුනත් බැන්නට අපේ ජීවිතේට අලුත් අවස්ථා හදල දීපු ගුරුවරයෙක් අපේ ජීවිතේ ඇතුළෙ ඉන්නව.

2. නෙවිල් ලෝංග්බොටම්

අපේ ගොඩක් බුවාලත් නෙවිල් ලෝන්ග්බොටම්ල වගේ තමයි. ඉදිරිපත් වීම අන්තිමයි. බය උපරිමයි. කෙලවෙයි කියල බයට මොකුත් කරන්නැතුව ෂේප් එකේ ඉන්න තමයි හිත. පේපර් එකට ලකුණු විස්සක් හම්බුනාම කොහොමද මට මෙච්චර ලකුණු ආවෙ කියල පේපරේ උස්සන් ටීචර් ගාවට යන සයිස් එකක් තමයි මුලින් මුලින් තියෙන්නෙ. හැබැයි කාලයක් යද්දි තමයි ඌ ඇත්තටම ලෝන්ග්බොටම් වෙලා එන්නෙ. ඊටපස්සෙ කොල්ලා ඉතිං හන්දියට කොත්තුවක් කන්න ගියත් කෙල්ලෙක් දෙන්නෙක් දැලේ දාගෙන තමයි එන්නෙ.

3. ඩොලොරෙස් අම්බ්‍රිජ්

මේ වගේ ටීචර් කෙනෙක් අපි හැමෝටම ඉඳලා තියෙනවා. ඇත්තටම වන්දනීය මට්ටමකින් තියන්න පුළුවන් ගුරුවරු අතරෙ, නාහෙට නාහන, පළිගන්න, තමුන්ගෙ අවුල් පිළිනොගන්න ගුරුවරියක් අපේ ජීවිතේට ඉන්නව. ලොකුම කරුම කරපු එවුන්ට එහෙම අයව ගණිතය, විද්‍යාව හෝ සිංහල වගේ ප්‍රධාන විෂයකට සෙට් වෙනවා. මධ්‍යම කරුම කරුම එවුන්ට ඒ වගේ අයව ඔය ජීවන කුසලතා වගේ සබ්ජෙක්ට් එකකට සෙට් වෙනවා. පොඩිම කරුම කරපු එවුන්ට ඒ වගේ අය ගාව ටියුෂන් යන්න වෙනවා. පස්සෙ ඕනනං මාරු කරන්න බැරිය. හැබැයි පුතෝ ජීවිතේ කාලකණ්නි කරල තමයි එවන්නෙ. ගුරු කමටත් නින්දාවක් ඔහොම එවුවො.

4. ඩ්‍රෙකෝ මැල්ෆෝයි

මේ වගේ ගෝත කරුම කොහෙත් ඉන්නව. ඕකුන්ට අපිව පේන්න බෑ. ඇයි දන්නෙත් නෑ. අපිටත් ඕකුන්ව පේන්න බෑ. ඔන්න ඉතිං දැක්ක තැන වචනයක් දෙකක් මාරු වෙච්ච ගමන් දෙන්නට දෙන්න මරා ගන්නව. යාළුවො සෙට් එක සපෝට්. සමහර බුවාලා තාත්තලගෙ හයිකාරකං අරං  දැඟලුවට තනියෙං ලයිබ්‍රිය ගාවදි වගේ හම්බුනොත් බීල ඉවර වෙච්ච සිගරට් එක වගේ තමයි. කකුලෙන් ඇඹරුවත් පුහ් ගාන්නෙ නෑ.

5. හැරී පොටර්

ප්‍රධාන නළුව නොහොත් මෙයා තමයි අපේ සංජන් සාමනායක. මූට තියෙනව සුපර් පවර් අම්බානක හැබැයි අපේ ප්‍රධාන නළුවට වගේ තමයි. ඕන වෙලාවට අතේ පයේ හයිය ඇරෙන්න මෙලෝ අල බෝලයක් මතක නෑ. ඉතිං දුවනව ටික්කො එලෝගෙන එන ටිකට් ගත්තු නැති එකා වගේ. අනික දහිරිය. දහිරියෙන් එක. දැනුම. දැනුමෙනුත් එක. ක්‍රීඩා. එවුවයෙනුත් එක. මූ එක නැත්තෙ කෙල්ලෙක් හොයාගන්න විතරයි. කෙල්ල මූ ගාවට ඇවිල්ල, ඇඹරිලා නහය හපලා දිව මිරිකල බැලුවත් මූ නෙමෙයි අහන්නෙ. අන්තිමට ඉතිං වෙනිං එකෙක් කෙල්ලෙක් සෙට් කරල දෙනව.

6. මොලී වීස්ලි

මේ නං අපි හැමෝම දන්න කෙනෙක් ගැන තියෙන කතාවක්. ඒ තමයි අපි ලගා ගහන්න  යන යාළුවගෙ ගෙදර අම්ම. අපේ කේලං අහල යාළුවට බයිනව ඕසෙට. අපිට කන්න රස කෑම හදල දෙනව. අපි අයිස් ගහනව කියල දැනදැනම හුරතල් කරල යනවා. අපේ ඔය සමහර ගොයියො ඔය වගේ ගෙවල්වලට ගියාම ඇන්ටිලා එක්ක කදේ දාලා, මල් පානිය දාලා, උන්ගෙ කැපකිරීම් ගැන මහාවංශ ලියල තමයි එන්නෙ. ඉතිං උන් ඊලඟ පාර ගෙදර එද්දි මේ මොලී වගේ අම්මල චිකන් ඉස්ටුවක් ළූණු රවුම් එක්ක මාළු මිරිස් වැඩි පුර දාලා හදලා, ඉඳි ආප්පයි, අල හොද්දයි, පොල් සම්බලෙයි එක්ක රෙඩි කරල තියෙනවා. හැරියා හැමදාම හොඳ එකා වෙලා රොන්ට බැන බැන ඒ අහිංසකයොන්ගෙ පාන් ටික ගිල්ලෙ එහෙමනෙ.

7. ජිනී වීස්ලි

ඔන්න පුතෝ දඩිං බිඩිං දොඩං වෙලා තියෙන හිතට සිසිල් දිය දහරා ඉසින ඒ කුල කුමරිය. යාලුවගෙ නම්කි. නම්කි ගණං පාට් එකෙන් උන්නට අපි එනව කියල කලින් දන්න වෙලාවට එහෙම මේකප් පාර දාලා ඉන්නෙ. හදිස්සියෙවත් යාලුවට කියන්නැතුව ගෙදරට ගිය දවසට දොර ගාව ඇදගෙන වැටෙනව කෙල්ලගෙ කැතට. වළඳ ඔලුවට දාපු පඹය වගේ ලුක් එක. හැබැයි ඉතිං කෙල්ලත් අම්ම කෑම හදන් එන වෙලාවට කණුව ගාව ඇඹරි ඇඹරි ඉන්නව. අපේ එවුනුත් ඇහේ නහර ඇදෙනකං ඔලුව හරෝ හරෝ ඉවක් බවක් නැතුව කියෝනව. වෙච්ච සංගෙඩිය දන්නෙ ඇන්ටි අපේ කොල්ලගෙ පුත්‍ර භාවය අහෝසි කරල ආහාර සලාකෙ කපල දැම්මට පස්සෙ. අපි ආතභූත නැතුව කියෝපුව නම්කි බෝම්බෙ ගාණට ගිහිල්ල අම්මගෙ කනේ තියල කියාංකො.

Do you like this post?
  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid
Article එක හොදයි නම් / ලස්සනයි නම් / දෙයක් ඉගෙන ගත්තා නම් ලයික් එකක් දාලා ශෙයා කරන්න

මේ රතු පාට button එක ක්ලික් කරලා අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
Releated Posts :

Leave a Reply