Jul
2

ස්කූල් වෑන් එකක ඉස්කෝලේ ගියා නම් මේ ආතල් අරගෙන තියෙන්නම ඕන

228 Views

සාමාන්‍යයෙන් අම්මලා තාත්තලා අතේ එල්ලගෙන ඉස්කෝලේ එක්කරගෙන යන කාලේ පහුවුනාට පස්සේ ගොඩක් දෙනෙක් සෙට් වෙන්නේ ස්කූල් වෑන් වලට තමයි. ස්කූල් වෑන් එකේ ඉස්කෝලේ යනවා එනවා කියන්නේ වෙනමම ආතල් එකක්. ඒ කාලේ එක්කෝ ඕ ලෙවල් විතර වෙනකල් ස්කූල් වෑන් එකේ ගිහින් ඊට පස්සේ ස්කූල් බස් එකට සෙට් වෙනවා. එහෙම නැත්තං ඒ ලෙවල් ඉවර වෙලා ඉස්කෝලෙන් පන්නන කල්ම ස්කූල් වෑන් එකේම යනවා.හැබැයි ස්කූල් බස් එකට වඩා ස්කූල් වෑන් එක පොෂ් සීන් එකක් කියල තමයි සැලකුණේ. කොහොම කොහොම හරි ස්කූල් වෑන් එකේ ඒ කාලේ ගත්තු ආතල් ඉතින් නිමක් නෑ. මේ කියන්න යන්නේ ඒවයින් දෙක තුනක් ගැන තමයි!

1. පිටිපස්සෙම සීට්

පැංචෝ කාලේ ඉතින් බෑග් එකත් ගලවන්නෙ නැතුව ඉස්සරහම සීට් එකකට වෙලා ගියාට, පස්සෙ පස්සෙ ලොකු වෙනකොට පිටිපස්සේ සීට් තමයි හොයන්නේ. ඇත්තම කිව්වොත් ස්කූල් වෑන් එකේ පිටිපස්සේ සීට් තමයි ආතල් රාජධානිය!

2. අනික් වෑන්

ඒ කාලේ අපිත් එක්ක එකම රූට් එකේ යන අනික් ස්කූල් වෑන් වෙන් කරලා අඳුනගන්න එක ටොයිස්. විශේෂයෙන්ම සූකිරි නංකිලා ඉන්න ස්කූල් වෑන්. තව ඉතින් ඔය තරහකාරයෝ යන වෑන් එහෙමත් තියෙනවා. කොහොම වුනත් ස්කූල් වෑන් එකේ නැග්ග වෙලාවේ ඉඳන් ට්‍රැ‍ෆික් පනිනකල් රබර් ඇහැ දාගෙන යන්නේ නංකිලා යන වෑන් ට්‍රැ‍ෆික් එකේ එක පේළියට සෙට් වෙනවද කියලා බලාගෙන තමා!

3. සිංදු

සමහර දවස් තියෙනවා ෆුල් සිංදුවෙන් ඉන්න මූඩ් එකක ඉන්න. ඒ වගේ දවසකට ගොඩදාන්න ප්ලේ ලිස්ට් එහෙමත් රෙඩි කරලා තියෙන්නේ. හැබැයි වෑන් එකට ඩ්‍රම් ගහන්න ගියපු තැන වෑන් එකේ අංකල්ගෙන් කේස්. ඒ නිසා ඔය තට්‍ටු දාන්න පුලුවන් අයිටම්ස් එහෙම සමහර වෙලාවට වෑන් එකේ රෙඩි පිට තියාගෙන ඉන්නේ.

4. කෑම

ඉස්කෝලෙ ඇරිලා ගෙදර යන වෙලාව මැද්දට එනවා මාර බඩගින්නක්. එතකොට ඉතිං කරන්නේ කලෙක්ෂන් එකක් දාලා ඔය ෆේවරිට් පොට් එකකින් මොනවහරි ගන්න එක තමයි. ඒක රෝල්ස් එකක්, බනිසක් නැත්තං අන්නසි කෑල්ලක් වුනත් වෙන්න පුලුවන්.

5. කෙල්ලො ටෝක්

ස්කූල් වෑන් එකේ යනකොට පැණි පෙරන එකත් එක ක්‍රමේකට තමයි කරන්න වෙන්නේ. දැන් ඔය චීස් කෑල්ල වගේ ඉන්න නංකියෙක්ව නෝට් කරගත්තට පස්සේ ඉතින් ඇහෙන්, හිනාවෙන් තමයි සෑහෙන්න දවසක් වැඩේ ඇදගෙන යන්න වෙන්නේ.

6. වලි

ස්කූල් වෑන් එකේ යනකොට ස්කූල් බස් එකේ යද්දි තරම් මදාවි වැඩ කරන්න බෑනේ මචං. හැබැයි වලි නැහැයි කියන්න බෑ. සමහර වෙලාවල් තියෙනවා වෑන් අංකලුත් ‍ෆිට් ඩයල් එක නං කෙලින්ම තරහකාරයෝ ඉන්න වෑන් එක බලෙන් නතර කරගෙන ගේම ඉල්ලන.

7. පොඩි එවුන්ව බයිට්

වෑන් එකේ වෙන කරන්නම දෙයක් නැත්තං කරන්නේ ඔය නන්ස්ටොප් කියෝන පොඩි එකෙක් අල්ලගෙන බයිට් කරන එක තමයි. ඌ හිතන්නේ මේ ලොකු අය්යලා අක්කලා ඌට හෙන තැන දීලා කතාකරනවය කියලා.

8. අඩෝ කැවුමා!

ස්කූල් බස් එකේ වගේ ඩස්පි ලෙවල් එකට හැසිරෙන්න බෑ ස්කූල් වෑන් එකේ. හැබැයි එහෙමයි කියලා එකෙක් බැහැලා යනකොට උගේ කාඩ් එක කියලා කෑ ගහලා ගම වනසන්නෙ නැතුව ඉන්න පුලුවන්ද මචං! ☺

9. බළල්ලු ලව්වා කොස් ඇට සීන්

ස්කූල් වෑන් එකේ යන පොඩි එවුන්ට ඔය ඩබල් මීනින් කතා එහෙම තේරෙන්නෙ නෑනේ. ඒ හින්දා එහෙම පොඩි එකෙක් අල්ලගෙන කියනවා “මල්ලි අර වෑන් එකේ යන අරූගෙ කාඩ් එක ‘කොම බබා’, එහෙම කියල කෑ ගහමු” කියලා. පොඩි එකාටත් ෆුල් ආතල්. ඉතින් අපිත් ඌ එක්ක කෑ ගහන්න වගේ ගිහින් සද්ද නැතුව ඉන්නවා. පොඩි එකා පළාතම දෙක වෙන්න කෑ ගහනවා. හැබැයි ඉතින් ඔහොම අහිංසක නං නෙවෙයි පාවිච්චි වුනේ!

10. නිදි මන්තරකාර පූසා!

සමහර වෙලාවට වෑන් එකේ සෙට් වෙනවා නැග්ග වෙලාවේ ඉඳන් ඔලුව අනික් එවුන්ගේ කරේ තියාගෙන, කෙළ පෙරාගෙන නිදාගන්න එකෙක්. උන් එක්ක කරන්න පුලුවන් දේවල් දෙකයි. එක්කෝ දෙපැත්තෙ ඉන්න දෙන්නා මුගේ ඔලුව උරහිස්සට සෙට් වෙන වෙන වෙලාවට වැලමිටෙන් අයිනවා, නැත්තං උරහිස ගස්සනවා. එතකොට ඌ කෙලීන්ම අනික් පැත්තේ එකාගේ උරහිසට ලෑන්ඩ් කරනවා. එහෙම නැත්තං කරන්න තියෙන්නේ නිදිකුම්බරයට පොඩි ඇට්ලස් චූටි මේක් අප් එකක් දාන්න, කොලේකින් සිගරට් එකක් හදලා ගන්න වගේ අපේ ෆන් එකක් ගන්න තමයි. එහෙමවත් හැදෙන්නෙ නැති එකෙක් නං පොඩි සිද්ධාලේප සාත්තුවක්, සිග්නල් දත් බෙහෙත් සාත්තුවක් එහෙම දෙන්න වෙනවා!

11. මොනාද යකෝ ළඳ වගේ තාම ස්කූල් වෑන් එකේ යන්නේ!

බැරිවෙලාවත් අපි ඕ ලෙවල්, ඒ ලෙවල් කරන වයසකදීත් ස්කූල් වෑන් එකේ නං යන්නේ, උදේ පාන්දර හෙනහුරා මූණ බලලා අපේ රූට් එකේම යන ස්කූල් බස් එක ට්‍රැ‍ෆික් එකේ ගාණට එහා පැත්තට සෙට් වුනොත් ඉතින් හොදි ඕන්නෑ. ආය ස්කූල් බස් එකේ එවුන්ට චාරයක් නෑනේ. සුපිරියටම හූවයි ටෝකයි දෙනවා ආයි සීට් එක යට හැංගෙන්න හිතෙන සයිස් එකට!

12. වෑන් අංකල්

ස්කූල් වෑන් එකක් ආතල් වෙන්න නං තියෙන්න ඕන මූලිකම දේ තමයි ආතල් වෑන් අංකල් කෙනෙක් ඉන්න එක. තාමත් හිතින් කොල්ලා ටයිප් එකේ අංකල් කෙනෙක් ඉන්නවා නං ඉතින් ස්කූල් වෑන් ජීවිතේ සැමදා සැපේ තමා!

13. මල්ලි අර වෑන් එක තියෙනව නේද?

සමහර දවස් තියෙනවා පට්ට පජාත කම්මැලියි. පිටිපස්සෙ සීට් ගැංසියේ අනික් එවුන් අඩු වුනා වගේ දවසක තමයි මේ සීන් එක වෙන්නේ. එතකොට ඉතින් ටයිම් පාස් කරගන්න මොනව හරි කරන්නත් ඕනනේ. පොඩි එකෙක් අල්ලගෙන ඌ එක්ක කතාවට සෙට් වෙනවා. “මල්ලි අර යන වෑන් එක තියෙනවා නේද?” පොඩි එකා හිතන්නේ දැන් හෙන ස්ටෝරියක් කියන්න එන්නෙ කියලා. ඌ “ඔව් අය්යේ?” කියලා කන් උස්සගෙන අහගෙන ඉන්නවා. “ඉතින් තිබුණදෙන්” කියලා අපි වැඩක් බලාගන්නවා. අර පොඩි එකා මඤ්ඤං වෙලා බලං ඉන්නවා.

14. කුච් කුච් හෝතා හේ!

වෙන සීන් එකක් නෙවෙයි, ඇත්තටම කුච් කුච් හෝතා හේ ‍ෆිල්ම් එක ගැන තමයි කියන්නේ. ඔය ‍ෆිල්ම් එක ආපු කාලේ ඉස්කෝලේ කට් කරලා ඕක බලලා පිස්සු වැටිලා හිටියේ. ඉතින් ස්කූල් වෑන් එකේ යනකල් ඕකේ සිංදු ටික අහ අහා යන්නේ. බෙහෙත් වේල. වගේ උදේ යද්දිත් අහනවා, ගෙදර එද්දිත් අහනවා. එකම සිංදු ටික ගෙදර යනකල් දෙපාරක් වෙනවා.

15. අලුත් නංකි!

දැන් වෑන් එකට අලුතින් සූටි නංකියෙක් එහෙම එනවා කියන්නේ පිටිපස්සෙ සීට් එකට හඳ පායලා වගේ තමා. මුලින් රෙස්පා පිට ඉන්න නංකිව කතාකරවන්න විදියක් හොයාගන්න ඕන. ඉන් පස්සේ විස්තර දැනගන්න ඕන. ඉන් පස්සෙ ඉතින් කුච් කුච් හෝතා හේ තමයි!

16. එයා නඟිනකල්

වෑන් එකට අලුතින් ආපු නංකිට ඔහොම හිත ගියාට පස්සේ ඉතින් එයාගෙන් තොර ලොවක් නෑ. උදේට නගිනකල් බලාගෙන ඉන්නවා. හවසට වෑන් එකට දුවං එන්නේ නංකිගේ මල් පිපිච්ච මූණ බලන්න. අවුලක් නෑ, වෑන් එකේ අනික් එවුනුත් සපෝට් නිසා.

17. එයයි මායි

පිටිපස්සෙ සීට් ගැංසියේ අනික් කවුරුවත් එන්නේ නැති, නංකි එක්ක යන චූටි නංකිලත් එන්නේ නැති දවසක් කලාතුරකින් හරි එනවා කියන්නේ එදාට පසළොස්වක වගේ තමා. ෂේප් එකේ නංකියාටත් පිටිපස්සෙ සීට් එකට ආරාධනා කරලා මලක් කඩාගෙන යන්න තියෙන්නේ.

18. වෑන් එකේ වලි

සමහර වෙලාවට වෑන් එකේම යන කෙල්ලෝ සෙට් එකක් ඉන්නවා ලොකු එකෙන් ඉන්න. ඉතින් හැමදාම කෙල්ලෝ ටිකයි, පිටිපස්සෙ සීට් එකේ කොල්ලො ටිකයි වලි. ඔහොම වලි තදටම යන වෙලාවක කැලෑ පත්තර, මරණ දැන්වීම් එහෙමත් හදලා ගෙනැත් වෑන් එකේ බෙදාහරින සීන් වෙනවා. ආයෙ ඉතින් කොල්ලන්ගේ ඒ ක්‍රියේටිවිටි එකට නං කෙල්ලන්ට ඇප නෑ!

19. නිවාඩු දෙන දවස

ඉස්කෝලේ නිවාඩු දෙන දවස තමයි ස්කූල් වෑන් වල සිංහල අවුරුද්ද. හවසට වෑන් එකට එන්නෙම ආතල් පිට. ඉන් පස්සේ කලෙක්ෂන් දාල කොහේ හරි සුපුරුදු තැනක නවත්තලා හොඳට කාලා, සිංදුවක් කියාගෙන යන්න තමයි තියෙන්නේ.

20. වතුර ගහ ගැනිලි

ස්කූල් වෑන් එකේ ඉස්කෝලේ නිවාඩු දෙන දවසට ගෙදර යන කෙල්ලෝ ඔක්කොම ඉතින් ගවුම් ඇඟට ඇලෙන්න වතුර නාගෙන තමයි යන්නේ. ඇයි එක වෑන් එකක එවුන් තව වෑන් එකක කෙල්ලොන්ට වතුර ගහන එක මේ දවසේ අනිවා වෙන දෙයක් නිසා.

21. බිත්තර

ස්කූල් වෑන් එකේ යන කොල්ලන්ට ඉස්කෝලේ නිවාඩු දෙන දවසට සෙට් වෙන්න පුලුවන් ටොපියක් තමයි බිත්තර කන්න වෙන එක. ගොඩක් වෙලාවට අපිත් එක්ක ගේමෙන් ඉන්න වෙන ස්කූල් වෑන් සෙට් එකක් හිටියොත් උන්ගෙන් තමයි මේ පරිප්පුව සෙට් වෙන්නේ.

22. ලියුමක්

වෙන වෑන් එකක හිත ගියපු නංකියෙක්ට සෙනෙහෙ කොළයක් දෙන එක සාමාන්‍යයෙන් කරන්න අමාරු වැඩක් තමා. ඕකට ලේසිම ක්‍රමේ ඒ වෑන් එකේ යන පොඩි එකෙක්ව සෙට් කරගන්න එක. දැන් ඌ අතේ ලියුම යවන්න පුලුවන්. මේ වගේ වැඩකටත් මරුම දවස තමයි නිවාඩු දෙන දවස.

23. ස්කූල් වෑන් ෆීස්

සමහර මාස වල ඔය ඉස්පෙෂල් වැඩ සෙට් වෙනවනේ. අර වෙන වෑන් එකක හිත ගියපු නංකිට තෑග්ගක් එහෙම ගන්න වෙන මාස. ඒ වගේ වෙලාවක ස්කූල් වෑන් එකට දෙන්න කියලා මාසෙට දෙන ෆීස් එකෙන් මාටියා ගහන එක තමයි වෙන්නේ. ඉන් පස්සේ ඉතින් වෑන් අංකල්ට පච තොගයක් අතෑරලා ෂේප් කරගන්න වෙනවා. සමහරු මාසෙක ෆීස් එකට පොල්ල තියලා අලුත් වෑන් එකකට යන වෙලාවලුත් තියෙනවා.

 

Do you like this post?
  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid
Article එක හොදයි නම් / ලස්සනයි නම් / දෙයක් ඉගෙන ගත්තා නම් ලයික් එකක් දාලා ශෙයා කරන්න

මේ රතු පාට button එක ක්ලික් කරලා අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
Releated Posts :

Leave a Reply