May
13

හොලිවුඩ් ‍ෆිල්ම් වල තියෙන ගොන් පාට් 7 ක් මෙන්න

1503 Views

වැරදීම මිනිස් ගතියක්, සමාව දීම දේව ගතියක් කියනවනේ. ඒ නිසා මේ අපි හදන්නේ ඔය හොලිවුඩ් පිචර් වල තියෙන “අයියෝ සල්ලි” අවස්ථා කීපයක් දිහා බලලා, හිනාවෙලා ඔන්න ඔහේ සමාව දීලා දාන්න. ලංකාවේ ‍ෆිල්ම් වලත් ඉතින්… නෑ එක්කෝ ඒවා පස්සෙ කතා කරමු!

1. පොතේ හැටියට අහුවෙන්නම ඕන පෙන්ඩ්‍රයිව්!

දැන් ඔන්න හෙන රාජ්‍ය රහස් නැත්තං මිලිටරි රහස් තියෙන පෙන් ඩ්‍රයිව් එකක් කතාවෙ වීරයට මාට්‍ටු වෙනවා. දැන් ඕක කම්පියුටරේකට ගහල බලන්න ඕන මොනවද තියෙන්නෙ කියලා. ඉතින් පොර කරන්නේ කොහේ හරි තියෙන ලැප්ටොප් එකක් හරි සයිබර් කැෆේ එකක තියෙන කම්පියුටරයක් හරි සෙට් කරගෙන ඕක ගහල බලනවා. හැබැයි ඉතින් ඔය පෙන් ඩ්‍රයිව් එක එන්ක්‍රිප්ට් කරපු ඩයල් එක දානවා පොඩි ජිමික් එකක්, ලෝකෙ කොහේ මැසිමකට මේක ගැහුවත් බුහ් ගාලා මැසේජ් එකක් එන්න. එතකොට ඔන්න ටීම් එකක් දිඩිබිඩි ගාලා එනවා තැන හොයාගෙන.

හරි දැන් අද කාලේ හැම කම්පියුටරයක්ම, ලැප්ටොප් එකක්ම ඕනම මොහොතක නෙට්වර්ක් එකකට විවෘත වෙලා තියෙන්නෙ කියන එක අපිට තේරෙනවා. ඒත් ඉතිං දැන් ඔය වගේ පෙන් ඩ්‍රයිව් එකක් බලන්න යනකොට පොඩ්ඩක් නෙට්වර්ක් ඩිසේබල් කරලා වැඩි පරිස්සමට කරන දෙයක් කරන්න බැරිද? අනික ලෝකේ ඉන්න සිරාම ඔත්තුකාරයො තමයි මේ වගේ වගක් නැතුව වැඩ කරන්නේ! අර අන්තිමට ආපු ජේසන් බෝර්න් පිචර් එකෙත් ඕකම කරලා මාට්‍ටු වෙනවා.

ලංකාවේ නං…

ලංකාවේ පිචර් එකක නං ඔය පෙන් ඩ්‍රයිව් එකේ ෂුවර් එකට තියෙන්නේ වර්ඩ් ඩොකියුමන්ට් එකක්. හැමෝම එලියට යයි කියලා බයවෙන රහස් ඔක්කොම තියෙන්නේ ඕකේ ලියලා. අනික පෙන් එක ගහපු ගමන් කොහේටවත් සිග්නල් එහෙමත් යන්නෙ නෑ කියල ෂුවර්. ඇයි ඉතින් ‍ෆ්‍රී දෙන්නං කිව්ව වයි ෆයි සෝන් තාම නෑනේ!

2. වගවිබාගයක් නැති මිකැනික්ලා!

ඔව් අර ජේසන් ස්ටැතම් හාදයා ගැන තමයි මේ කියන්නේ. මනුස්සයා ඉන්න අලුත් මිකැනික් පිචර් එකතියෙනවනේ. අන්න ඒකේ හැටියට ජේසන් ගොයියා ලෝකේ ඉන්න සුපිරිම කන්ට්‍රැක්ට් කිලර් කෙනෙක්. ඒ කියන්නේ කාටහරි මිනීමැරුමක් විදියට නැතුව අනතුරක් විදියට පේන්න කාවහරි ස්වර්ගස්ත කරන්න ඕන නං කෝල් එක දෙන්නේ ජේසන් ගොයියට. මිනිහත් ඉතින් සුපිරි වැඩ්ඩා. මරන්න ඕන එකාගේ දිනචරියාව එහෙම අධ්‍යයනය කරලා පොර සෙට් කරනවා සුපිරි ගේමක්, ආයි මැරෙන එකා හිතන්නෙත් තමන් ඇක්සිඩන්ට් එකකින්, වැරදීමකින් වැලිගම්පිටි යනව කියල තමයි. හැබැයි ප්‍රශ්නෙ කියන්නේ මේ තරමට සියුම් ගේම් දෙන මනුස්සයා තමන්ගෙ හතුරා එක්ක වලියට එන්නේ රංජා වගේ. එහෙම වළං කඩේට පැන්න ගොනා වගේ හතුරගෙ පොට් එකට කඩාවැදිලා, කෙල්ලවත් බේරගෙන හීරීමක්වත් නැතුව මාරු වෙන්න තියෙන චාන්ස් එක මිස් කරගන්නවා. සමහරවිට මේකෙන් කියන්නේ කෙල්ලව බේරගන්න ඕන වුනහම කොයි මිකැනික් වුනත් සිහියක් පතක් නැතුව දුවගෙන එනව කියලා වෙන්නත් පුලුවන්!

ලංකාවේ නං…

ලංකාවේ මිකැනික් ‍ෆිල්ම් එක ගැහුවනං ඉතින් මරන්න ඕන එකාට දෙක තුනක් ඇනලා කුදලගෙන කාර් එකේ දාගෙන ගිහින් කාර් එක නවත්තනවා රේල් පාර හරස් කරලා. එතකොට බැක්ග්‍රවුන්ඩ් එකෙන් කෝච්චිය ඇවිත් කාර් එකේ හැප්පිලා කාර් එක ගිනි අරගෙන පුපුරනකොට අපේ වීරයා සංග්ලාස් දෙක දාගෙන එනවා. අවුලක් නෑ, ඇක්සිඩන්ට් එකක්නේ!

3. ඒලියන්ස්ලටත් වයිරස් බෝකලේ අපි බ්‍රෝ!

අර පරණ ඉන්ඩිපෙන්ඩන්ස් ඩේ පිචර් එකේ ඔක්කොම හොඳයි, ඒලියන්තලට වයිරස් බෙදන්න යන සීන් එක ඇරුණහම. අර ඒලියන් යානාව වැඩ කරන්න ඉගෙන ගන්න හැටි තේරුම් ගන්න පුලුවන් දෙයක්. ඒලියන් යානාවල ඩිෆෙන්ස් ෂීල්ඩ් එකට ටොපිය සෙට් කරන්න වයිරස් හදන එකත් හරි කියමුකෝ. හැබැයි ඉතින් හු‍ටුස් ගාලා යානාවේ නැගලා මවු යානාවට ගිහින්, උන්ගේ වයර්ලස් නෙට්වර්ක් එකට කනෙක්ට් වෙලා වයිරස් එකක් අප්ලෝඩ් කරල එනව කියන්නේ? ඒලියන්ලත් පෘතුවියේ විදියට වයි ෆයිද පාවිච්චි කරන්නේ? අනිත් එක ඒලියන්ලගෙ කොම්පියුටර්ස් වල හාඩ්වෙයාර් සොෆ්ට්වෙයා එහෙමත් මෙහේ වගේ කියලද හිතාගෙන ඉන්නේ? කියන්න බෑ, සමහර විට උනුත් පාවිච්චි කලේ වින්ඩෝස් 95 ද දන්නෙ නෑනේ!

ලංකාවේ නං…

ලංකාවේ ඉන්ඩිපෙන්ඩන්ස් ඩේ හැදුවනං ඔය වගේ අතේ මාට්‍ටු වෙන සීන් දාන්නෙ නෑනේ බ්‍රෝ! අපි එහෙමනං ඒලියන්ස්ලට වයිරස් අප්ලෝඩ් කරන්නෙ චිත්ත ශක්තියෙන්!

4. වලි දාගන්න කම්මැලි වුනහම පියඹලා යං!

මෙට්‍රික්ස් රීලෝඩඩ් ‍ෆිල්ම් එකේ ඔන්න නියෝට ඒජන්ට් ස්මිත් සෙට් වෙනවා වලියට. බලනකොට මෙට්‍රික්ස් එක ඇතුලේ ඉන්න ඕන එකෙක්ව තමන්ගෙ ක්ලෝන් එකක් කරන්න පවර් එකක් හම්බෙලා ඒජන්ට් ස්මිත්ට. ඉතින් නියෝවත් ක්ලෝන් කරන්න හදලා බැරි වුණු තැන ඔන්න ඒජන්ට් ස්මිත් වලියට එනවා. වලියට සපෝට් කරන්න එහෙන් මෙහෙන් ඒජන්ට් ස්මිත් ක්ලෝන් සෙට් එකකුත් ගේමට බහිනවා. දැන් තියෙන්නෙ ඉතින් සුපිරි ගහගැනිල්ලක් තමා. හත් දෙනෙක්ට ගහලා බිම දානකොට සීයක් මතුවෙනවා කියහන්කො. අන්තිමට ගහලා ගහලා කම්මැලි හිතුනහම නියෝ පියඹලා යන්න යනවා. (ඔව් කොල්ලට පියඹන්නත් පුලුවන් ඒ ‍ෆිල්ම් එකේ)

දැන් ඒ කාලේ සමහරු ඇහුවා ඉතින් පියඹන්න පුලුවන්නං අහවල් අලගෙඩියක් කන්නද මෙච්චර වෙලා ගහගත්තෙ කියලා. හැබැයි ඉතින් අපි ඒ කතාවට එකඟ නෑ. ස්මිත් ගැංසිය එනකොට පියඹලා ගියා නං කෝ හලෝ ෆයිට් සීන් එකක්?

ලංකාවේ නං…

ලංකාවේ පිචර් එකක නියෝ ඔය වගේ නටන්න ඕන නෑ. බහුවා බහුවා කියලා දෙකක් දෙපැත්තට වනනකොට විස්සක් බිම.

ඉන්දියාවේ නං…

නියෝ කාටවත් ගහන්නෙ නෑ. ඒජන්ට් ස්මිත්ලා සීයක් හමාරක් පොරව වටකරගෙන ඉන්නකොට නියෝ කෙලින්ම උඩ පැනලා මිට මොළවලා ගහන්නේ පොළවට. එතකොට ඒ කම්පනය නිසා අර වටේ ඉන්න ඒජන්ට් ස්මිත් ක්ලෝන් ඔක්කොම සෙට්ටපෝච්චි!

5. ඩොක්ටර්ස්ලට බැරි දේවල් බැට්මෑන්ට පුලුවන්!

නෝලන් ගේ බැට්මෑන් සීරීස් එක නං සුපිරි. ඒ ගැන ආයි කතා දෙකක් නෑ. හැබැයි අර කියන තුන්වෙනි ‍ෆිල්ම් එකේ අපිට පොඩි කේස් එකක් එනවා. දැන් බේන් එක්ක දාර වලියක් දාගෙන බැට්මෑන් අම්බානෙක ගුටි කනවනේ. ගුටි කනව කියන්නේ කෙලින්ම ඉණෙන් පල්ලෙහා පණ නැති වෙන්නම බේන් ෂොට් එක දෙනවා. දැන් සීලිමේ තියෙන ලණු වල එල්ලිලා ලෝකේ කොහේද මුල්ලක කාන්තාරෙක තියෙන පොළව යට හිරගේක හිරවෙලා ඉන්න බැට්මෑන් ගේම අතාරින්නෙ නෑ.  හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මාස කීපයක් යනකොට ගමේ ඩොක්ටර් කෙනෙක් බහ් ගාලා බැට්මෑන්ගේ අප්සට් ගිහින් තියෙන කෂේරුකාවට පාරක් ගහලා හරි තැනට ගන්න එක විතරක් නෙවෙයි. ඉන් පස්සේ කකුල් දෙකෙන් හිටගන්න බැට්මෑන් සැණෙන් ඕන ගේමකට රෙඩි වෙන එක. ආයි බේන් ලා දහයකට ගහන්න පුලුවන් ෂේප් එකෙන් තමයි ඉන් පස්සෙ බැට්මෑන් එන්නේ.

ලංකාවේ නං…

ලංකාවේ බැට්මෑන්ට ඔය වගේ දෙයක් වුනොත් මාස ගණන් ඉන්න ඕන නෑ. වෙද මහත්තයෙක් මතුරලා තෙල් ටික ගාලා අතගෑවහම ඉණෙන් පහළ පණ නැති ඩයල් එකක් වුනත් සනීප වෙනවා. ඒ විතරක් නෙවෙයි, ඊලඟ මිනිත්තුවේ තව දහයකට පහළොවකට නෙලන්න පණ එනවා!

6. රට්‍ටු හිනස්සන්න එපා සුපර්මෑන් පිංවත!

හැත්තෑ ගණන් වල ආවා සුපර්මෑන් ‍ෆිල්ම් එකක්. මරු ‍ෆිල්ම් එක. ඔන්න ඉතින් ලොයිස් ඒකේ පස් වලට යට වෙලා මැරෙනවා. සුපර්මෑන් එනකොට පොඩ්ඩක් ප්‍රමාදයි. ලොයිස් මැරිලා. දැන් මේක සුපර්මෑන්ට දරන්න බෑ. දරන්නෙ කොහොමද අප්පා වන් ඇන්ඩ් ඔන්ලි ලව් එක නැතිවුනහම. ඉතිං සුපර්මෑන් වේදනාවෙන් කෑ ගහනවා. කෑ ගහගෙන අහසට පියඹගෙන යනවා. දැන් අපිට පේනවා ලෝක බෝලේ සාමාන්‍ය විදියට කැරකෙනවා. හැබැයි ඔන්න සුපර්මෑන් ලෝක බෝලේ කැරකෙන පැත්තට විරුද්ධ පැත්තට ලෝකේ වටේ පියඹගෙන යනවා. ඒකත් සුපර් වේගෙන්. කොහොමත් තත්පරේට ලෝකේ වටේ වට කීපයක්ම මෑන්ස් පියඹනවා. ආන්න ඒ මොහොතේ පිංවතුනි, සුපර්මෑන්ගේ බලේ කොච්චරද කියනවා නං ලෝක බෝලේ අනික් පැත්තට කැරකෙන්න පටන් ගන්නවා. ඒ විතරක්ද, ඔන්න එතකොට අපිට පේනවා ලෝක බෝලේ කැරකෙන එක රිවස් වුනහම කාලයත් ආපස්සට ගමන් කරනවා!

දැන් ඔහොම පොඩ්ඩක් වෙලා කාලයට අනික් පැත්තට ගමන් කරන්න ඉඩ දීලා සුපර්මෑන් කරන්න මොකද්ද පිංවතුනි, ලෝක බෝලෙ වටේ අනික් පැත්තට පියඹනවා. එතකොට අර රිවස් ගියපු ලෝක බෝලේ නැවතිලා ආයෙමත් හරි පැත්තට කැරකෙන්න පටන් ගන්නවා. ආන්න බලන්න පිංවතුනි සුපර් බලේ. ඕක බලපු විද්‍යාඥයින්ගෙත් මොලේ රිවට් ගිහින් තිබ්බා ලෝකේ අනික් පැත්තට කරකවලා කාලය ආපස්සට හරවන විජ්ජාව ගැන හිතන්න ගිහින්. කොහොමින් හරි කමක් නෑ, ලොයිස් මැරෙන්නෙ නෑ. සුපර්මෑන් සතුටින්. අපිත් සතුටින්. සාදු කියන්න පිංවතුනි.

ලංකාවේ නං…

ලංකාවේ කාලය හරහා යන්න කුණ්ඩලීනී යෝගෙන් පුලුවන් පුතාලා. සුපර්මෑන් ගොයියට පොඩ්ඩක් භාවනාව ප්‍රගුණ කරන්න කියන්න.

7. හිනාවෙලා මැරෙන හොරර් ‍ෆිල්ම්

දැන් ඔය ස්ලෑෂර් ටයිප් බය හිතෙන පිචර් තියෙනවනේ. ට්‍රේලර් එක දැක්කගමන් අපි හෙනට බය වෙලා දැන් පිචර් එක බලන්න වාඩි වෙනවා. ගොඩක් වෙලාවට ඔය වගේ ‍ෆිල්ම් එකක වික්ටිම් ලා වෙන්නේ කීප දෙනෙක්ම ඉන්න සෙට් එකක්. ගොඩක් වෙලාවට මේ සෙට් එකේ දෙකේ දෙකේ සයිස් පිරිමිත් ඉන්නවා. හැබැයි ආතල් එක කියන්නේ බ්‍රෝ තනි මිනීමරුවා (පොරත් නිකං කෙසඟ, හුළඟට වැටෙන ටයිප් ඩයල් එකක් නං ෆුල් ආතල්) එනකොට මේ සෙට් එක එකට ඉන්නෙ නැතුව බෙදිලා ගිහින් එකින් එකා මැරුං කනවා. දැන් සෙට් එකම හිටියනං මිනීමරුවට කරන්න දෙයක් නැති වෙනවා. හැබැයි ඉතින් එතකොට ‍ෆිල්ම් එකක් නෑනේ. ඒ නිසා වෙන්න ඕන කට්ටිය බෙදිලා ගිහින් මිනීමරුවට පොඩි සප් එකක් දෙන්නේ.

තව ඔය හොරර් ‍ෆිල්ම් වල තියෙන සීන් එකක් තමයි අන්තිමට පැනලා යන්න කාර් එකට නැග්ගහම කාර් එක ලොවෙත් ස්ටාට් වෙන්නෙ නැති එක.

එතකොට දැන් ඔය හොල්මං ‍ෆිල්ම් වල හොල්මන් තියෙනවා කියලා ෂුවර් කරලා කියන්න පුලුවන් ගෙවල් එහෙම තියෙනවනේ. එහෙම ගෙවල් ගන්නෙම හොල්මං බලන්නම වෙන්න ඕන. ඇයි ජීවිතේට දවල් කාලේ ඔය වගේ ගෙදරකට ගිහිල්ලා ඒක පොඩ්ඩක් සුද්ද පවිත්‍ර කරලා ලයිට් එහෙම දාලා හොල්මන් පාට අරින්න හිතන්නෙ නැති එකනෙ වැඩේ!

ලංකාවේ නං…

ලංකාවේ හොල්මං සීන් වැඩිය නෑනේ. තිබුණත් තියෙන්නේ අර මේ ඉඳලා එකපාරටම අතුරුදන් වෙන හොල්මන්!

හරි. හොලිවුඩ් ‍ෆිල්ම් වල මේ වගේ අවුල් තිබ්බට කමක් නෑ, ඔන්න සමාව දුන්නා. හොලිවුඩ් වල එහෙම වුනත් බොලිවුඩ් වල එහෙම වෙන්නෙ නෑ!

 

Do you like this post?
  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid
Article එක හොදයි නම් / ලස්සනයි නම් / දෙයක් ඉගෙන ගත්තා නම් ලයික් එකක් දාලා ශෙයා කරන්න

මේ රතු පාට button එක ක්ලික් කරලා අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
Releated Posts :

Leave a Reply